Sri Lanka
ඉදිරියට යන ගමන ආපස්සට ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ -අගමැති හරිනි
10 | 2026-02-16 09:15 AM
ඉදිරියට යන ගමන, ජාතිවාදය ඇතිකර ආපස්සට ගන්න කිසිවෙකුට ඉඩ නොදෙන බවත්, පටන් ගත්ත වෙනස ඉදිරියට ගෙනියන්න කාන්තාවන්ද ඉදිරියට පැමිණිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. මන්නාරම, අඩම්බල් ප්‍රදේශයේ ඊයේ(15) පැවති මන්නාරම් දිස්ත්‍රීක් කාන්තා හමුව අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, "අපේ රටේ තිබුණ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි යුද්ධය, ප්‍රචණ්ඩත්වය, අපි එකිනෙකා දිහා අවිශ්වාසයෙන් බැලුවේ. ඇත්තටම අපි බෙදුණු රටක් වුණා යුද්ධය නිසා. ඒ හේතුවෙන් වැඩිපුරම ගැටලුවලට මුහුණ දුන්නේ කාන්තාවන්. අපි දන්නවා රටේ බහුතරයක් කාන්තාවන් අම්මා, තාත්තා, පුතා, දුව,සහෝදර, සහෝදරියන් නැතුව දුක් විදිනවා. මේ ප්‍රදේශයේ එහෙම දුක් විදින බොහෝ කාන්තාවන් ඉන්නවා කියලා අපි දන්නවා. යුද්ධය අවසන් වී බොහෝ කල් වුණත් ඒ සාමය හදවත් තුළ අදටත් නැහැ. තවමත් කාන්තාවන් ඉන්නවා තමන්ගේ පවුලේ අයට මොකක්ද වුණේ කියලා හොයා ගන්න බැරුව. තනියම තම පවුල රැක ගන්න මහන්සි වෙන බොහෝ කාන්තාවන් ඉන්නවා. අපේ රජය ජාතිවාදයට එරෙහිව ලොකු සටනක් ගෙනියනවා. මේ රටේ සියලු දෙනාට ආරක්ෂිතව, සමාන අයිතීන් ඇතිව ජීවත්වෙන්න අවශ්‍ය බව අපි දන්නවා. නමුත් තාමත් ජාතිවාදී කඳවුරු උත්සාහ කරනවා එකිනෙකා අතර අසමගිය ඇති කරන්න. ඒ අයට දූෂණය නතර කරලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න, නීතිය සමානව ක්‍රියාත්මක කරන්න, ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය නැහැ. ඒ අයට අවශ්‍ය බලය ලබා ගැනීම පමණයි. ඒ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් නෙමයි ඔවුන් වෙනුවෙන් පමණයි. ජාතිවාදයෙන් බැටකාපු ප්‍රධාන කොටසක් තමයි කාන්තාවන්. අපි ආපහු බෙදලා අසමගිය ඇති කරන්න ඉඩ දිය යුතුද? නැහැ නේද ඒකට කාන්තා නායකත්වය අවශ්‍යයි. අපි පටන් ගත්ත වෙනස ඉදිරියට ගෙනියන්න කාන්තා ඔබත් ඉදිරියට එන්න. අපිට කරන්න තව ගොඩාක් වැඩ තිබෙනවා. ඉදිරියට යන ගමන ආපස්සට ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ."

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ