කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකයේ, මෙතෙක් ඉතිහාසයේ සනිටුහන් වූ ඉහළම අගය අද (19) දිනයේ දී වාර්තා විය.
එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,085.09ක් ලෙසින් සටහන් වූ අතර එය පසුගිය සැප්තැම්බර් 01 දින වාර්තා වී තිබූ ඒකක 21,062.45 වාර්තාව යළි අලුත් වීමකි. අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 119.83කින් ඉහළ ගොස් තිබිණ.
S&P SL20 අගය දිනය තුළ ඒකක 24.86කින් ඉහළ ගොස් ගනුදෙනු අවසානයේ දී ඒකක 5,996.16ක් ලෙසින් සටහන් වුණි.
අද දින රු. බිලියන 6.50ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.
අද දින ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, හේලීස්, සියෙරා කේබල්ස්, මෙල්ස්ටාකෝප් සහ එයිට්කන් ස්පෙන්ස් යන සමාගම්වල කොටස් මිල ගණන් වර්ධනය සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දීමට සමත්ව තිබුණි. ඒ සමගම සමාගම් 123ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව අද දින ඉහළ ගොස් තිබුණු අතර මිල පහළ ගිය සමාගම් සංඛ්‍යාව 95කි.