Sri Lanka
සාමාන්‍ය පෙළ විභාගය අතරතුර ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් සියල්ල සූදානම්
12 | 2026-02-16 05:15 PM
හෙට (17) දිනයෙන් ආරම්භ වීමට නියමිත 2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාග දිනයන්හි දී යම් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ වෙනුවෙන් ගතයුතු සියලු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආදාළ පාර්ශව සමඟ විශේෂ සැලැස්මකට අනුව කටයුතුකර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසුවේය. එමෙන්ම ඒ මහතා පැවසුවේ, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුසිසුවියන්ට විභාග මධ්‍යස්ථානයන් කරා යාමට නොහැකිවූ අවස්ථාවකදී හෝ කිසියම් හේතුවක් මත විභාගයට යාමට අපහසුතාවයක් ඇතිවුවහොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇමතීම සඳහා සෘජු දුරකථන අංක හඳුන්වා දී ඇති බවය. ඒ අනුව, 117 හො 1911 යන දුරකථන අංකවලට අමතරව තවත් අංක 4ක් අලුතින් හඳුන්වා දී තිබේ. 011 366 8020 011 366 8100 011 366 8013 011 366 8010 එමෙන්ම විභාගය ආරම්භ කිරීමට දින දෙකකට පෙර සිට විභාගය අවසන්වී දින දෙකක් ගත වනතුරු එනම් ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කර අවසන් වන තුරුම ආරක්ෂක අංශ, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සහ අදාළ අංශ සමඟ සාකච්ඡා කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර අවසන් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මේ අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනි සිටින සිසුසිසුවියන්ට විශේෂ උපදේශන මලාවක් නිකුත් කර තිබුණි. පහත සඳහන් කරුණු සඳහා අවධානය යොමු කරන ලෙස වැඩිදුරටත් දැනුම් දී ඇත. අධ්‍යයන පොදු සහතිකපත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය - 2025(2026), මෙවර පෙබරවාරි මස 17 සිට 26 වන දින තෙක් පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 382,249ක් ද පෞද්ගලික අයදුම්කරුවන් 69,214ක් ද වශයෙන් මුළු අපේක්ෂයන් 451463ක් පෙනී සිටීමට නියමිතය. විභාගය මධ්‍යස්ථාන 3,545ක දී පැවැත්වෙන අතර විභාග කටයුතු සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 531ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා ඇත. විශේෂ විභාග මධ්‍යස්ථාන ලෙස රත්මලාන, තංගල්ල, මාතර, හලාවත, වටරැක සුනීත විද්‍යාලය, මහරගම අපෙක්ෂා රෝහල, කෛතඩි නෆීල්ඩ් විශේෂ පාසල පිහිටුවා ඇති බව දැනුම් දී තිබේ. විභාගය පැවැත්වීමේ දී අවශ්‍ය ආරක්ෂාව පොලීසිය, ත්‍රිවිද හමුදාව විසින් ලබා දෙන අතර, යම් කිසි ආපදා තත්වයක් ඇති වුවහොත් එයට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරන මධ්‍යස්ථානය නිරන්තරයෙන් කටයුතු කරනු ඇත. විභාගයට පෙනී සිටින සිසුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරිම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ වලංගු රියදුරු බලපත්‍රය භාවිතා කළ හැක. විභාග මධ්‍යස්ථානයට අපේක්ෂකයන් පැමිණීමේ දී ජංගම දුරකතන, ස්මාර්ට් බෝඩ්, ඉලෙක්ට්‍රොනික උපාංග, ගණක යන්ත්‍ර, මකන දියර සහ සටහන් පොත් ආදිය රැගෙන යාමෙන් වළකින ලෙසට දැනුම් දී තිබේ. මෙම විභාගය සඳහා පෙනී සිටින විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් මීට පෙර අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණයට ලක් කර වෛද්‍ය වාර්තා අධ්‍යයනයකින් පසුව අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කර ඇත. සියලුම විභාග අපේක්ෂකයින් තමන්ට ලබා දී ඇති කාලසටහන අනුව විභාගය ආරම්භයට පැයකට පෙර නියමිත විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු අතර විභාග නීතිරීතිවලට අනුකූලව විභාග කාර්ය මණ්ඩලය ‍ලබා දෙන උපදෙස් අනුව කටයුතු කළ යුතු බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ