Sri Lanka
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සහයෝගීතා ගිවිසුමක්
6 | 2026-02-18 11:15 AM
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික ප්‍රතිපත්ති සංවාදය පිළිබඳ සහයෝගීතා ගිවිසුමක් (Memorandum of Cooperation - MoC) අත්සන් කර තිබේ. ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සබඳතා නව මාවතකට යොමු කරමින් "ශ්‍රී ලංකා - ජපාන අන්තර් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංවාදය" (Intergovernmental Economic Policy Dialogue)පෙරේදා (16) මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවත්වා තිබුණි. එම අවස්ථාවේදී දෙරටේ අදාළ අමාත්‍යාංශ අතර මෙම ගිවිසුම අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලෙන්තිරරාජා මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන අතිරේක ලේකම් (ද්විපාර්ශ්වික ආර්ථික කටයුතු) දර්ශන එම්. පෙරේරා මහතා ගිවිසුමට අත්සන් තබා ඇත. ජපාන රජය වෙනුවෙන් ජපාන ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ (METI) ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය මත්සුඕ තකෙහිකෝ (Matsuo Takehiko) මහතා සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ මුරෝතානි මසකත්සු (Murotani Masakatsu) මහතා අත්සන් තැබූ බව සඳහන් වේ. මෙම ප්‍රතිපත්ති සංවාදයේදී දෙරට අතර ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා වූ මාර්ග සිතියම (Roadmap) පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්තිය සහ සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කර තිබේ. කාර්මික කොරිඩෝවක් (Industrial Corridor) නිර්මාණය කිරීම සඳහා වූ මාර්ග සිතියම සහ ශ්‍රී ලංකාවේ අපනයන ධාරිතාව පිළිබඳ සමීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමද සිදුකළ බව සඳහන් වේ. ශ්‍රී ලංකාව තුළ ජපන් සමාගම් සඳහා පවතින ව්‍යාපාරික වටපිටාව පිළිබඳව ජෙට්‍රෝ (JETRO) ආයතනය විසින් වාර්තාවක් ඉදිරිපත් කළ අතර Itochu සහ Mitsui වැනි ප්‍රමුඛ ජපන් සමාගම් සිය ව්‍යාපාරික අත්දැකීම් ඉදිරිපත් කළ බව එම නිවේදනයේ සඳහන් වේ. මෙම අවබෝධතා ගිවිසුම සහ ප්‍රතිපත්ති සංවාදය මගින් ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ ආර්ථික සහයෝගීතාව නව යුගයකට පිවිසෙනු ඇතැයි දෙරටේ නියෝජිතයෝ මෙහිදී විශ්වාසය පළ කර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ