Sri Lanka
සැකකරුවන් නිවාස අඩස්සියේ තැබීමට නව පනතක් ගේනවා - අධිකරණ ඇමති
9 | 2026-02-20 10:46 AM
බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකිවන නව පනතක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්නූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, "උසාවි විනිසුරුවන්ට පඩි ගන්න, නීතිඥවරුන්ට හම්බකරන්න නෙමේ. උසාවි තියෙන්නේ කාලය, මුදල් නාස්ති නොකර නඩු අවසන් කරන්න. අධිකරණවල නඩු ලක්ෂ 11ක් පමණ තියෙනවා. ඉස්සර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවලට දිනය ලැබුණේ අවුරුද්ද පැනලා. අලුත් අගවිනිසුරු යටතේ නඩු ඉවරවෙන ප්‍රමාණය වැඩියි. අපි අලුතින් අධිකරණ හදනවා. පාස්කු නඩුවට සහ අල්ලස් නඩුවලට වෙනම උසාවි තියෙනවා. තව උසාවි 07ක් ඉදිරියේදී ස්ථාපිත කරනවා." ප්‍රශ්නය - අකුරේගොඩදී නීතිඥවරයෙකුට සහ බිරිඳට වෙඩි තැබීමක් සිද්ධවුණා. දැන් මේ නීතිඥවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අධිකරණ පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී මොකක්ද ගන්න පියවර? "නඩුවලට පෙනී සිටීම නිසා නීතිඥ ප්‍රජාවම අනතුරේ වැටිලා නැහැ. මමත් අවුරුදු 25ක් අපරාධ නඩු මෙහෙයවූවා. අපරාධ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. අකුරේගොඩ සිදුවීමට අනිවාර්යයෙන් යුක්තිය ඉටුවිය යුතුයි. නීතිඥ ප්‍රජාවම අනතුරේ කියන එක විපක්ෂය හදපු මතයක්." ප්‍රශ්නය - බන්ධනාගාර තදබදය අවම කරන්න ගෙන තිබෙන පියවර කුමක්ද? "අපේ බන්ධනාගාර ධාරිතාව 10,500යි. දැනට 39,000ක් ඉන්නවා. වැරදිකරුවන් නොවූ කොටසයි ගැටලුව. වැරදිකරුවන් නොවූ සැකකරුවන් 28,000ක් ඉන්නවා. එතනිනුත් 20,000ක් මත්ද්‍රව්‍ය භාවිතා කරන අය. පිළිතුර බන්ධනාගාර තුළ සෙනඟ අඩු කිරීම. විනිසුරු යසන්ත කෝදාගොඩ යටතේ අලුත් පනතක් ගේන්න වැඩකරනවා. රිමාන්ඩ් කරනවා වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ පනතක්. ඒ හරහා සෙනඟ අඩු කරන්න පුළුවන්. මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා සිරගතවූවන්ට. දඬුවම් අඩුවීමේ ක්‍රමවේදයක් නැහැ. විනිසුරු තුරෙයි රාජා යටතේ කමිටුවක් පත්කළා. දීර්ඝකාලීනව සිරගතව සිටින්නන් දඬුවම් අඩුවීමේ ක්‍රමයක් හදනවා." කුලී ගෙවල් පනත සම්බන්ධව පසුගිය කාලේ ලොකු කතාබහත් ඇතිවුණා. ඒකේ ඉදිරියේදී කොයිවගේ වෙනස්කම් කරන්නද බලාපොරොත්තුවෙන්නේ? "අඩියක් පස්සට ගෙන ජනතාවට කන්දීම පරාජයක් නොවෙයි. හදන්න ඕනේ හැමෝටම ගැළපෙන නීතියක්. අලුතින් අදහස් එවන්න ජනතාවට අවස්ථාවක් දුන්නා. කුලීහිමියාට සහ කුලීනිවැසියාට සහන ලැබෙන ලෙස. මේ පනත සංශෝධනය කරනවා. පනත පවතින ආකාරයෙන් නීතිගත කරන්නේ නැහැ. සංශෝධන පනතකින් මහජන අදහස් විමසනවා."

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ