Sri Lanka
සුරේෂ් සලේ පාස්කු නඩුවක තුන්වැනි සැකකරු ලෙස නම් කෙරේ
14 | 2026-03-06 08:15 AM
රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන නඩුවක තුන්වන සැකකරු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) පියවර ගත්තේය. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පසුගිය පෙබරවාරි 25 වැනිදා පෑලියගොඩදී අත්අඩංගුවට ගැනුණේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබලදීමේ චෝදනා යටතේය. අනතුරුව සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විදිවිධාන පනත ප්‍රකාරව දින 90ක කාලයක් රැඳවුම් භාරයේ ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යවරයාගෙන් අවසර ලබාගත්තේය. එවැනි පසුබිමක සලේ මහතාගේ නීතිඥයින් පෙරේදා(04) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් ඉල්ලා සිටියේ සිය සේවාදායකයා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ තබාගැනීමේ නියෝගය ඉහළ අධිකරණයක අභියෝගයට ලක්කිරීමට සදහා මේ සම්බන්ධ නඩුවල සහතික කළ පිටපත් ලබාදෙන ලෙසටය. එමෙන්ම සිය සේවාදායකයා හමුවීමට තමන්ට අමතර දිනයක් ලබාදෙන ලෙසත්, ඔහුට නිවසින් ආහාර රැගෙන යාමට අවසර ලබාදෙන ලෙසත් නීතිඥයින් ඉල්ලීමක් කළේය. මෙහිදී අදාළ නීති කෘත්‍යයන්හි සහතික පිටපත් නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළද අනෙකුත් ඉල්ලීම් සඳහා නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේ සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් අධිකරණයට කරුණු වාර්තාකර නොමැති බව පවසමින්ය. මෙවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට සුරේෂ් සලේ මහතා රැඳවුම් භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කළේය. එමගින් ඔවුන් සඳහන් කර තිබුණේ වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශන නොමග යැවීම සහ සයින්දමර්දු නිවසේ සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින 35882/24 නඩුවේ තුන්වැනි සැකකරු ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා නම් කරන බවය. මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටින සැකකරු, මහෙස්ත්‍රාත්වරයාට සුදුසුයැයි හැඟෙන දිනයක එම දෙපාර්තමේන්තුවට පැමිණ නිරීක්ෂණය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය. එම කරුණු දැක්වීම් අධිකරණය හමුවේ ලිඛිතව සටහන්කර තැබීමට නියෝගකළ මහෙස්ත්‍රාත්වරයා නුදුරු දිනෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සැකකරු නිරීක්ෂණය කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දුනි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ