Sri Lanka
IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරය ගැන තවත් තොරතුරු
14 | 2026-03-07 10:00 AM
IRIS Dena නෞකාවට පහරදුන් අමෙරිකානු සබ්මැරීනය තුළ ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සාමාජිකයින් තිදෙනෙක් සිටි බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීසි තහවුරු කර තිබේ. එම නිලධාරීන් ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව අතර ඇති ඕකස් පුහුණ වැඩසටහනට එක්ව සිටි පිරිසක් බවත් ඔහු මෙහිදී අනාවරණ කර ඇත. කෙසේ නමුත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ සිය හමුදා ජාත්‍යන්තර නීතියට අනුගතව සිටි බවත්, ඉරානයට එල්ල කළ ප්‍රහාරයට සක්‍රීයව දායක නොවූ බවත් ය. IRIS Dena නෞකාවේ සිට දිවි බේරාගත් ඉරාන නාවිකයන් පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදාගන්න අයුරු දැන්වෙන රූපරුමු පෙළක් ඊයේ (06) මාධ්‍යවෙත නිකුත් කර ඇත. එම ප්‍රහාරයෙන් මියගිය ඉරාන නාවිකයන් පිරිසගේ දේහ පිළිබඳ පශ්චත් මරණ පරීක්ෂණ කටයුතු ද ඊයේ අළුයම තෙක්ම ගාල්ල ජාතික රෝහලේදී සිදු කෙරිණි. මෙම මෘත ශරීර තැන්පත් කිරීම සඳහා රෝහලේ ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් ශිතකරණ පහසුකම් සහිත බහාලුම් යොදා ගැනීමට තීරණය කෙරුණු අතර අදාළ බහාලුම් රථ පෙරේදා රාත්‍රියේ රෝහල වෙත රැගෙන ආවේය. මින් එක් බහාලුමක් ගාල්ලේ පරිත්‍යාගශීලි ජනතාව විසින් ලබා දී තිබූ අතර අනෙක් බහාලුම ලබාදී තිබුනේ රජයේ මැදිහත් වීමෙනි. මේ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඉරාන නාවිකයන්ගෙන් 8 දෙනෙකු හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. සෙසු 24 දෙනා සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය. IRIS Dena නෞකාව ප්‍රහාරයට ලක් වු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් INS තරංගිනී නෞකාවද සහභාගී වී ඇති අතර එය ඊයේ උදෑසන කොළඹ වරායට පැමිණියේය. කෙසේ වෙතත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා චෝදනා කරන්නේ නිරායුධ මිනිසුන් රැගත් නෞකාවකට පහරදී වැනසීම මගින් අමෙරිකාව යුද අපරාධයක් කර ඇති බවය. මේ අතර ඉන්දියාවේ විශාකාපට්නම්හී පැවැති මිලාන් 2026 යුද අභ්‍යාසය සඳහා සහභාගී වීමට ගිය ඉරාන නෞකා තුනෙන් එකක් වන අයිරිස් බුෂේර් 'IRIS Bushehr' යුද නෞකාව පසුගියදා පානදුරට ඔබ්බෙන් වූ මෙරට අනන්‍ය ආර්ථික මුහුදු කලාපයට පැමිණියේය. ඒ සමග ඔවුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබුනේ මෙරට වරායක් වෙත ඇතුළුවීමට අවසර ලබා දෙන ලෙසය. ඒ අනුව පෙරේදා රාත්‍රියේ නෞකාවේ ‍කාර්ය මණ්‍ලය ඇතුළු නැවියන් 204 දෙනෙකු ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් කොළඹ වරායට රැගෙන එනු ලැබීය. ඒ අතර නිලධාරීන් 53ක්, කැඩෙට් නිලධාරීන් 54ක්, ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48ක් හා නාවිකයන් 23දෙනෙකු සිට තිබේ. එලෙස ගොඩබිමට රැගෙන ආ නාවිකයන් පිරිස වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගියේය. නාවික හමුදා සඳහන් කළේ, අදාළ නෞකාව ඊයේ (6) පස්වරුව වන විටත් කොළඹ වරායට නුදුරින් ශ්‍රී ලංකා ජල තීරයේ ස්ථාන ගත කර ඇති බවය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ