Sri Lanka
ගංවතුරින් ජල සම්පාදන මණ්ඩලයේ ජල මූලාශ සහ පිරිපහදු ස්ථාන රැසක් ජලයෙන් යටවෙයි
33 | 2025-11-29 05:53 AM
පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් ජාතික ජල සම්පාදන මණ්ඩලය සතුව ඇති ජල මූලාශ සහ ජල පිරිපහදු මධ්‍යස්ථාන රැසක් ජලයෙන් යටවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පැවසුවේ ජල මූලාශ ගංවතුරින් යටවීම හේතුවෙන් එහි පොම්ප ක්‍රියාත්මක කිරීමටද මේ වන විට නොහැකි වී ඇති බවය. එමෙන්ම බොහෝ ස්ථානවල ඇති ජලය පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානද ජලයෙන් යටවී ඇතැයිද මේ හේතුවෙන් ජල පොම්පාගාර සහ ජලය පවිත්‍ර කිරීමේ පවිත්‍රාගාරද නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇතැයිද ඒ මහතා පැවසීය. මහනුවර දිස්ත්‍රික්කයේ ජල පොම්පාගාර සහ ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇතැයිද මෙය යථා තත්ත්වයට පත් කර ගැනීමට යම් කාලයක් ගත වනු ඇතැයිද පැවසූ සභාපතිවරයා සඳහන් කළේ මීට අමතරව කෑගල්ල, මාවනැල්ල, ප්‍රදේශවලද ජල සැපයුමට මේ වන විට බාධා මතුව ඇති බවය. මීට අමතරව උතුරු මැද පළාත, සබරගමුව, ඌව, ප්‍රදේශවල පිහිටි ජල පොම්පාගාර මේ වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය. කෙසේ නමුත් බස්නාහිර පළාත තුළ ජල සැපයුමට මෙතෙක් බාධාවක් මතු වී නැතත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන විසින් කැලණි ගඟේ ජල මට්ටම ඉහළ නගිමින් පවතින බවට අනතුරු අඟවා ඇතැයිද යම් හෙයකින් අඩි 7කින් කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගියහොත් අඹතලේ ජල පවිත්‍රාගාරය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමේ ගැටළු මතුවන බවත් ඒ මහතා සඳහන් කළේය. එසේ වුවහොත් කොළඹ නගරයට ජලය සැපයීමේ බාධාවන් මතුවන බවත් කෙසේ හෝ මෙම තත්ත්වය මැඩපවත්වා ගැනීම සඳහා උත්සාහ කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ