Sri Lanka
බෝ නොවන රෝග සෞඛ්‍ය සේවයට විශාල අභියෝගයක් බව සුව ඇමති කියයි
24 | 2026-01-19 08:39 AM
මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හඳුනාගත් ප්‍රධානතම අභියෝගය බෝ නොවන රෝග බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. එය පාලනයට හා වැළැක්වීමට සුදුසුම විසඳුම මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම බවත්, ඒ සඳහා දැනට නියමු ව්‍යාපෘතියේ ක්‍රියාත්මක අත්දැකීම් ද පාදක කරගනිමින් මෙම වසරේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ශ්‍රී දළදා මාළිගාවේ සේවා කාර්ය මණ්ඩල, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙන්ම ශ්‍රී දළදා මාලිගාවේ සේවයේ නිරත ආරක්ෂක අංශ සාමාජිකයන් සහ ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රය ආශ්‍රිත ආයතනවල කාර්ය මණ්ඩලය වෙනුවෙන් පැවැත්වූ විශේෂ “ආරෝග්‍යා” ජංගම සුව සායනයට එක්වෙමිනි. ලබන 24වනදා ප්‍රදේශ 42දී ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42ක් ආරම්භ කරන බවත්, එහි නියමු ව්‍යාපෘතිය පසුගිය වර්ෂයේදී නුවර, මාතලේ, කුරුණෑගල, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවල ස්ථාපිත මධ්‍යස්ථානවල මේ වන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය. යම් නිෂ්චිත ප්‍රදේශයක නිශ්චිත ජනගහනයකට මෙම මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර කරන බව අවධාරණය කළ අමාත්‍යවරයා වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය ජනතාව ප්‍රධාන රෝහල්වල සායන සඳහා යොමුකරන බවද පැවසීය. මෙරට ජීවත්වන සෑම පුරවැසියෙකුටම වගකියන සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ලබා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ වගකීමක් බවත්, ඒ වෙනුවෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1500කට අධික මුදලක් ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා වෙන්කර තිබෙන බවය. මීට සමාන්තරව නවීන තාක්ෂණය ද මෙම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානවලට හඳුන්වා දීමට කටයුතු කරන බව ද සඳහන් කළ අමාත්‍යවරයා මෙම සියලු වැඩසටහන්වල අපේක්ෂාව පුරවැසියාගේ සෞඛ්‍ය වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගැනීම බව ද පැවසීය. ඒ සඳහා ජනතාව වෙනුවෙන්ම කැපවුනු, කැපවෙන සෞඛ්‍ය කණ්ඩායමක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ