Sri Lanka
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක් කරන බව ඇමති කියයි
33 | 2025-08-30 11:22 PM
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක් සිදු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ කටුනායක ගුවන්තොටුපොළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එමෙන්ම එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ වර්ධනය වූයේ දේශපාලඥයන්ගේ ආශිර්වාදය සහිතව බවය. එමෙන්ම පාතාල අපරාධවලට තවදුරටත් මේ රටේ ජනතාව පීඩාවට පත් කිරීමට ඉඩ නොදෙන බවත් එය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට දැන් කාලය එළැඹ ඇති බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, ''ප්‍රධානපෙළේ අපරාධ කල්ලියක් වශයෙන් කටයුතු කරපු, කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩර් සලිඳු ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනෙක් ඉන්දුනීසියාවේ ඉඳලා අද ලංකාවට රැගෙන ආවා. මේ වෙනකොට ඔවුන් සියලු දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වුණා. විශේෂයෙන් මේ ක්‍රියාන්විතයේදී මං හිතන්නේ අපි දීර්ඝ කාලයක් සැලසුම් කරලා විශේෂයෙන් පොලිසිය, පොලිස්පතිතුමා, විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම් කරලා දින හතක් පමණ ඉන්දුනීසියාවේ පොලිසිය සමඟ ඒකාබද්ධ මෙහෙයුමක නිරත වෙලා ඔවුන් අත්අඩංගුවට අරන් අද මේ රටට ගෙනාවා. ඔබ දන්නවා මේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ වර්ධනය වුණේ දේශපාලඥයන්ගේ ආශිර්වාදය සහිතව. ඔවුන්ගේ බලය පවත්වා ගැනීම සඳහා මේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් භාවිතා කළා. ඒ වගේම ඔවුන් බලය පවත්වාගෙන යාම සඳහා මේ කණ්ඩායම් භාවිතා කළා වගේම ඔවුන් විවිධ ප්‍රයෝජන ඔවුන්ගෙන් ලබාගත්තා. ඔවුන්ගේ දේපල විශේෂයෙන් දේශපාලඥයන්ගේ අවශ්‍යතා සඳහා යොදාගෙන තිබුණු අවස්ථා අපිට මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. ඒ හින්දා දැන් මේ අත්අඩංගුවට ගත් කණ්ඩායම් පිළිබඳව ගැඹුරු විමර්ශනයක් සිද්ධ කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වෙනකොට පොලිස්පතිවරයා නියෝග ලබා දීලා තියෙනවා. අපි මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් කරනවා. මේ පිළිබඳ ගැඹුරු විමර්ශනයක් කරනවා. අපි මේ රටේ ජනතාවට සහතිකයක් දෙනවා මේ පාතාල අපරාධ තවදුරටත් මේ රටේ ජනයා, පීඩාවට පත් කරමින් මේ කරන මේ දේවල් නැවැත්වීමට දැන් කාලය ඇවිල්ලයි කියලා. ''

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ