Sri Lanka
පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළට
28 | 2026-01-20 02:25 PM
ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රු 3,000කින් වැඩි කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල්, එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද මහත්මිය සඳහන් කර ඇත්තේ, ඒ අනුව අවම වැටුප රු 27,000 සිට රු 30,000 දක්වා ඉහළ යන බවය. අවම වැටුපට සමගාමීව දෛනික වැටුප ද රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා ඉහළ නංවා තිබේ. 2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධාන අනුව මෙම වැටුප් වැඩිකිරීම සිදුකර ඇත. මෙම සංශෝධන පනත නිසිලෙස ක්‍රියාත්මක කිරීමේදී, අතරමැදියෙකු හෝ කොන්ත්‍රාත්කරුවකු හරහා යම් කර්මාන්තයක හෝ සේවාවක සේවයේ යොදවා ගනු ලබන සේවකයකු සම්බන්ධයෙන් ආසන්නතම සේවායෝජකයා මෙන්ම අවසාන සේවායෝජකයා ද ඇතුළුව සෑම සේවායෝජකයකුම එකී පනතේ නියමයන් ‍ප්‍රකාරව බැඳී සිටින බවද කම්කරු කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කර තිබේ. එසේම, සංශෝධිත පනතේ 4 වන වගන්තිය ප්‍රකාරව අයවැය සහන දීමනාවන් එකතු කිරීම හැරුණු කොට සේවකයෙකු විසින් 2025.03.31 දින වන විට ලබමින් සිටි වෙනත් කිසිම දීමනාවක් අවම වේතනය සඳහා හිලවු කිරීමට යොදා නොගත යුතුය බවද අදාළ නිවේදනය දැක්වේ. මෙම වැටුප් වැඩි කිරීම අනුව සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්, අතිකාල, පාරිතෝෂික, ප්‍රසූතිකාධාර ගෙවීම් සහ නිවාඩු දින ගෙවීම් යනාදී සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා අදාළ කර ගැනීමේ වගකීම සේවායෝජකයන් වෙත පැවරෙනු ඇත. යම් හෙයකින්, නිසි පරිදි ගෙවීම් නොකරන සේවායෝජකයන් වෙතොත් ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි cms.labourdept.gov.lk ඔස්සේ කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිලි කළමනාකරණ පද්ධතියට ඇතුළත් කිරීම හෝ ළඟම පිහිටි කම්කරු කාර්යාලයට ලිඛිතව ඉදිරිපත් කළ හැකි වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ