Sri Lanka
රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් හිමිකමට සංශෝධනයක්
24 | 2026-01-20 02:31 PM
2016 ජනවාරි 01 වන දිනෙන් පසු බඳවාගත් රාජ්‍ය නිලධාරින්ගේ පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප් හිමිකම සම්බන්ධ විධිවිධානය සංශෝධනය කිරීමට අනුමැතිය හිමිව තිබේ. රාජ්‍ය නිලධාරින් සඳහා වඩාත් සුදුසු දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් වූ 2016 අයවැය යෝජනාවක් අනුව 2016 ජනවාරි 01 දින සිට රාජ්‍ය සේවයට බඳවාගනු ලැබූ සියලු නිලධාරීන්ගේ පත්වීම් ලිපිවල 'මෙම පත්වීම විශ්‍රාම වැටුප් සහිතය. ඔබට හිමි විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතු වේ.' යනුවෙන් විධිවිධානයක් ඇතුළත් කර ඇත. එහෙත්, 2016 ජනවාරි 1 වන දිනයෙන් පසු රාජ්‍ය සේවයේ පත්වීම්ලාභීන්හට නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති අතර, පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුරු කර අදාළ පත්වීම් ලිපිවල සඳහන් විශ්‍රාම වැටුප සම්බන්ධ කොන්දේසිය සංශෝධනය කිරීම සඳහා 2026 අයවැය මඟින් යෝජනා කරනු ලැබ තිබේ. ඒ අනුව, 2016 ජනවාරි 01 දිනෙන් පසු රාජ්‍ය සේවයට බඳවාගත් සියලුම රාජ්‍ය නිලධාරින්ගේ පත්වීම් ලිපිවල සඳහන් විශ්‍රාම වැටුප් සම්බන්ධ විධිවිධානය 'මෙම පත්වීම විශ්‍රාම වැටුප් සහිතය. තවද, ඔබ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතුය. රජය මඟින් විටින් විට නියම කරනු ලබන ආකාරයට ඔබ විසින් ඒ සඳහා දායක මුදල් ගෙවිය යුතුය.' වශයෙන් සංශෝධනය කිරීමටත්, ඊට අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ