Sri Lanka
ප්‍රධාන මාර්ගවල රේස් පදින තරුණයින්ට වැඩ වරදියි
29 | 2026-01-21 08:47 AM
ප්‍රධාන මාර්ගයන් හි අනාරක්ෂිතව යතුරුපැදි භාවිත කරමින් ධාවනය වන සියලු යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම්දී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි. ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ මේ වන විට අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි භාවිත කරමින්ද මෙම කටයුත්තට සම්බන්ධ වන බවට තොරතුරු වාර්තා වී ඇති බවත් සියලුම පොලිස් ස්ථාන වෙත එම යතුරුපැදි අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දුන් බවත්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා, "යතුරුපැදි තියෙන්නේ තමන්ට ගමන් පහසුව සලසා ගන්න මිසක් ප්‍රධාන මාර්ගවල රේස් පදින්නවත්, පදිකයෝ අනතුරට පත් කරන්නවත්, විනයගරුකව සහ නීතිගරුකව රිය පදවන රියදුරන් අපහසුතාවට පත් කරන්නත් නෙමෙයි. විශේෂයෙන් මේ තරුණයන්ගේ නැගී එන රැල්ල මේක ඉතා භයංකාරයි. ඒක නිසා අපි විශේෂයෙන් කියලා තියෙනවා රථවාහන නිලධාරීන්ට අධික වේගයෙන් අන්තරාදායකව අපරික්ෂාකාරීව යනවානම් අනිවාර්යෙන්ම යතුරුපැදි සම්බන්ධව කටයුතු කරන්න කියලා. විශේෂයෙන්ම දැන් අවුරුදු 18ට අඩු අයත් යතුරුපැදි පදිනවා. ඊයේ අපි දැක්කා අවමංගල්‍යයකදි. මෙකේ වෙලා තිබ්බෙත් යතුරුපැදියක අධික වේගයෙන් රියදුරු බලපත්‍රයක්වත් නැතිව රේස් ගිහිල්ලා මරණයට පත්වෙලා. දැන් ඒ අවමංගල්‍ය පෙරහැරෙත් යන්නේ යතුරුපැදි. සමහර අය හෙල්මට් නැතිව ගිහිල්ලා. තරුණයන්ගේ මේ එන රැල්ල එච්චර හොඳ නෑ. ඒ නිසා විශේෂයෙන්ම අපි පොලීසියට කියලා තියෙනවා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි. අපි කියලා තියෙනවා දැන් ඒවා වහාම අත්අඩංගුවට ගන්න කියලා. අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරලා ඒවා රාජසන්තක කරන්න කියලා අපි දැනුම් දීලා තියෙනවා."

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ