Sri Lanka
අග්‍රාමාත්‍යවරිය සහ ඉහළ පෙළේ ආයතනික නියෝජිතයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා
24 | 2026-01-22 03:24 PM
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා යුරෝපා සංගමයේ අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා තිබේ. ඒ, ඊයේ (21) හදිසි අවස්ථා සහ අර්බුද කළමනාකරණය පිළිබඳ යුරෝපීය කොමසාරිස් Hadja Lahbib මහත්මිය හමුවී කරුණු සාකච්ඡා කිරීමේදීය. ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව, අග්‍රාමාත්‍යවරිය ඊයේ යුරෝපීය සංගමය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ගෝලීය පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමඟ සම්බන්ධ වෙමින් ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවකට සහභාගී වී තිබේ. එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හදිසි අවස්ථා සහ අර්බුද කළමනාකරණය පිළිබඳ යුරෝපීය කොමසාරිස් Hadja Lahbib මහත්මිය හමුවී ඇත. දිට්වා සුළි කුණාටුවෙන් පසු යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් විසින් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සූදානම් කිරීම සහ රට යළි ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා යුරෝපා සංගමයේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරන බව ද පවසා ඇත. අග්‍රාමාත්‍යවරිය ලෝක බැංකුවේ GRADE වාර්තාවේ සඳහන් තොරතුරු කොමසාරිස්වරයා සමඟ බෙදා ගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ නැවත ගොඩනැගීම සඳහා යුරෝපා සංගමයේ අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තු වන බව ද පවසා ඇත. එමෙන්ම අග්‍රාමාත්‍යවරිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරන Alexander De Croo මහතා ද හමු වී ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින ශක්තිමත් හවුල්කාරිත්වය අගයකර ගංවතුර සහනාධාර සහ ජන ජිවිතය යථාතත්ත්වයට පත්කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දුන් සහයෝගය පැසසුමට ලක්කර තිබේ. පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ජනවරමට සාධාරණයක් ඉටු කරමින්, මහජන විශ්වාසය, යහපාලනය සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂා වැඩපිළිවෙළක් සකස් කරමින් ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවන ජාතියක් ගොඩනැගීම කෙරෙහි රජය අවධානය යොමුකර ඇති බව ඇය තවදුරටත් සඳහන් කර ඇත. එමෙන්ම A.P. Moller Holding (MAERSK)හි සභාපති වන Robert M. Uggla මහතා සමඟ ද අග්‍රාමාත්‍යවරිය සාකච්ඡා පවත්වා ඇති අතර, එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා සහාය වීමට පෞද්ගලික අංශය සමඟ සම්බන්ධ වීම සහ සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව අවධානය යොමු වී තිබේ. රට නැවත ගොඩ නැගීම, සංවර්ධනය කිරීම සහ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය ළඟාකර ගැනීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සහ ගෝලීය කොටස්කරුවන් සමඟ ශ්‍රී ලංකාව ගෙන යන අඛණ්ඩ වැඩපිළිවෙල පිළිබඳ මෙම සාකච්ඡාවලින් අවධාරණය කර ඇති බව සඳහන් වෙයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ