Sri Lanka
ට්‍රම්ප් සාම මණ්ඩලය නිල වශයෙන් ආරම්භ කරයි
20 | 2026-01-23 08:24 AM
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය “Board of Peace” (සාම මණ්ඩලය) නාමයෙන් හැඳින්වෙන නව ජාත්‍යන්තර සංවිධානය නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රකාශන පත්‍රය ඊයේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී අත්සන් කළේය. මෙය “දිගු කාලයක් පුරා සූදානම් වූ, අතිශය උද්යෝගිමත් දිනයක්” ලෙස හඳුන්වමින් ට්‍රම්ප් මහතා කියා සිටියේ, මෙම මණ්ඩලය සම්පූර්ණ ලෙස ස්ථාපිත වූ පසු ලෝකය වෙනස් කළ හැකි බලයක් එම සංවිධානයට ලැබෙනු ඇති බවය. “මෙම මණ්ඩලය සම්පූර්ණ වූ විට අපි කැමති දෙයක් කරන්න පුළුවන්. ඒ සියල්ල එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සමඟ එක්ව සිදු කරනවා,” යනුවෙන් ට්‍රම්ප් පැවසීය. එමෙන්ම ට්‍රම්ප් කියා සිටියේ, එක්සත් ජාතීන්ට තවමත් සම්පූර්ණ ලෙස භාවිතා නොවූ විශාල බලයක් පවතින බවය. මෙම සාම මණ්ඩලයේ සභාපති ලෙස ට්‍රම්ප් මහතා කටයුතු කරන අතර, ගාසා සටන් විරාමයට පමණක් සීමා නොව, ගෝලීය මට්ටමේ අර්බුද රැසක් විසඳීම එහි අරමුණ බව ඔහු ප්‍රකාශ කළේය. එහෙත්, මෙම මණ්ඩලය එක්සත් ජාතීන්ගේ ප්‍රධාන භූමිකාවට අභියෝගයක් විය හැකි බවට ජාත්‍යන්තර මට්ටමේ කනස්සල්ලක්ද පළවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ට්‍රම්ප් අනාවරණය කළේ, මෙම මණ්ඩලයේ ස්ථිර සාමාජික රටක් අමෙරිකානු ඩොලර් බිලියන 1ක මූල්‍ය දායකත්වයක් ලබා දිය යුතු බවය. එම නිසා බටහිර රටවල් ඇතුළු ප්‍රබල ගෝලීය බලවේග කිහිපයක් මෙම මණ්ඩලයට එක්වීමට ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, ආර්ජන්ටිනාවේ ජනාධිපති හාවියර් මිලේයි, හංගේරියාවේ අගමැති වික්ටර් ඔර්බාන් ඇතුළු ආරම්භක සාමාජික රටවල නායකයින් ඩාවෝස්හිදී ට්‍රම්ප් මහතා සමඟ වේදිකාවේ සිටියහ. “අපි ලෝකයට සාමය ගෙන එනවා. අපි හැමෝම තරු,” යනුවෙන් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ඔහුගේ ආරම්භක කතාවේදී ට්‍රම්ප් කියා සිටියේ, වසරකට පෙර ලෝකය “ගිනිගෙන තිබූ” තත්ත්වයක සිටි බවත්, බොහෝ දෙනාට එය තේරුම් නොගිය බවත්ය. නමුත් දැන් ලෝකයේ බොහෝ හොඳ දේවල් සිදුවෙමින් පවතින අතර, ගෝලීය තර්ජන “සීතල වෙමින් පවතින” බවද ඔහු සඳහන් කළේය. ට්‍රම්ප් මහතා සිය පාලන සමයේදී “යුද්ධ අටක් විසඳා ඇති බව” පැවසූ අතර, රුසියාව–යුක්‍රේනය යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන්ද “විශාල ප්‍රගතියක්” සිදුව ඇති බව ප්‍රකාශ කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ