Sri Lanka
වෛද්‍ය වර්ජනය අදත්
23 | 2026-01-24 09:47 AM
රජයේ වෛද්‍යවරු විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සහකාර ලේකම් හංසමාල් වීරසූරිය මහතා පැවසුවේ තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවය. පැය 48න් පසුවත් වර්ජනය තවදුරටත් දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බව ද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ හංසමාල් වීරසූරිය මහතා ''අපි මේ ඉල්ලන්නේ හෙට පඩි වැඩි කරලා දෙන්න කියලද? නෑ. මේ ඉල්ලීම් ඇතුලේ සත පහක්වත් වියදම් වෙන්නේ නැති යෝජනා අනන්ත ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඇයි රජයට බැරි ඒ යෝජනා ටික කරලා දෙන්න. අඩුම තරමේ මේ සඳහා සාකච්ඡාවක්වත් දෙන්න මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යංශය ලෑස්ති වෙලා නෑ. අපිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න තැනට ආණ්ඩුව විසින් තල්ලු කරලා තියෙන්නේ. '' 2026 අයවැයෙන් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලුවලට නිසි විසඳුම් ලැබී නැතැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම අයවැය සමයේදීම වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන් වෙත ලබාදුන් ලිඛිත එකඟතා මත එම වෘත්තිය ක්‍රියාමාර්ගය පසුගිය නොවැම්බර් 28 වැනිදා තාවකාලිකව අත්හිටුවූවා. එලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදුන් ලිඛිත එකඟතා අතර 1.සියලු කාණ්ඩවල වෛද්‍යවරු ඇතුළත් කරගනිමින්" ශ්‍රී ලංකා වෛද්‍ය සේවය"නමින් සුවිශේෂි සේවා කාණ්ඩයක් බිහිකිරීම සඳහා සියලු පාර්ශ්වවල සහභාගීත්වයෙන් සහ එකඟතාවයෙන් කෙටුම්පත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාගෙන ඉදිරි කටයුතු සිදුකිරීම. 2. වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන කිරීම 3.22/99 චක්‍රලේඛයට අනුකූලව ප්‍රවාහන ගැටලු විසඳීම 4.අමතර රාජකාරී දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත්කිරීම 5.පර්යේෂණ දීමනාවේ ගැටලු විසඳීම යන කරුණු ඇතුළත් විය. ඒ අනුව මෙම කරුණු කාල රාමුවක් සහිතව විසඳීම සඳහා පසුගිය ජනවාරි 05වැනිදා මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. නමුත් එහිදි ද නිසි විසඳුමක් නොලැබුණු බැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැස්වීමේදී තීරණය කර ඇත්තේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමටය. ඒ අනුව ඊයේ පෙරවරු 8 සිට පැය 48ක කාලයක් එම වැඩ වර්ජනය ක්‍රියාත්මක වේ. එම සංගමය නිවේදනය කරන්නේ වැඩ වර්ජනය ළමා රෝහල්, මාතෘ රෝහල්,පිළිකා රෝහල්,වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහලේ සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය තුළ ක්‍රියාත්මක නොවන බවය. එමෙන්ම මෙම පැය 48 තුළ හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මක බවත් ඔවුන් නිවේදනය කර සිටී. කෙසේවෙතත් ඊයේ උදෑසන ඇරඹි වෛද්‍ය වැඩවර්ජනය ක්‍රියාත්මක කොළඹ ජාතික රෝහල ඇතුළු රජයේ රෝහල් රැසක කටයුතුවලට ඉන් බාධා එල්ල විය. වර්ජනය හේතුවෙන් රෝගීන් පත්වූයේ දැඩි අපහසුතාවලටය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ