Sri Lanka
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම‍යෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට චෝදනාවක්
20 | 2026-01-26 01:03 PM
සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පෙර පැවති සාකච්ඡාවලදී සිය යෝජනා සමග ඔහු ලිඛිතව එකඟ වූ බවත් නමුත් පොරොන්දු වූ පරිදි එය ක්‍රියාත්මක කිරීමට අපොසත්වීම නිසා මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹීමට සිදු වූ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගී සත්කාර සේවා බිඳ වැටෙන්නේ නම් ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යවරයා වන බවය. ඔවුන් සිය රාජකාරී නිසි ලෙස ඉටු කළේ නම් තමාට මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද ඒ මහතා මෙහිදී කියා සිටියේය. වෛද්‍ය වෘත්තිය, සුවිශේෂී වූ සේවා කාණ්ඩයක් ලෙස විශේෂඥ වෛද්‍යවරු, ශ්‍රේණි වෛද්‍යවරු, පරිපාලන ක්ෂේත්‍රයේ වෛද්‍යවරු හඳුනා ගැනීමට සහ ඔවුන්ට සුවිශේෂී වූ වැටුප් ව්‍යුහයක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වූ බවත් එය පාර්ලිමේන්තුවේ අයවැය කතාවේදී සඳහන් කරමින් හැන්සාඩ් ගත කර තිබුණද මේ වන තෙක් ඊට කැබිනට් අනුමැතිය ලබා දී නොමැති බවත් එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය. වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ ඩැට් දීමනාව යාවත්කාලීන කිරීම, අමතර රාජකාරී දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කර එය වැටුපට එකතු කිරීම යනා දී යෝජනා සම්බන්ධයෙන් ජනවාරි 5වනදාට පෙර භාණ්ඩාගාර නිලධාරීන් සමග සාකච්ඡාවක් ලබා දීමට පොරොන්දු වුවද එයට ද මේ වන තෙක් සාධනීය පිළිතුරු ලැබී නොමැති බවය. දින දෙකක් පුරා පැවති සංකේත වැඩ වර්ජනය සඳහා ද නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා මෙසේ සිය සංගමය ක්‍රියාමාර්ග 05ක් ඔස්සේ වෘත්තීය ක්‍රියාමාර්ගයට යාමට තීරණ‍ය කළ බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේය. කෙසේ වෙතත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ග හරහා හදිසි රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවන අතර සිය සංගමය රෝගී ජීවිත අනතුරේ හෙළීමක් සිදු නොකරන බවය. අදාළ ක්‍රියාමාර්ග 05 පහතින්, 01.සායන හා බාහිර රෝගී ප්‍රතිකාර ඒකක තුළ නොමැති ඖෂධ පිටත ඔසුසැල්වලින් මිලදී ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම. 02. රෝහල් පද්ධතිය තුළ නැති රසායනාගාර පරීක්ෂණ, පිටත රසායනාගාරවලින් හා පිටත පෞද්ගලික රෝහල්වලින් සිදු කර ගැනීමට තුණ්ඩු නැත්නම් නිර්දේශ නිකුත් නොකිරීම. 03. දැනට අනුමත වෛද්‍යවරු සංඛ්‍යාව සැපයීමට නොහැකි නම් සහ අනුමත වෛද්‍යවරු සංඛ්‍යාවක් අනුමත කරගෙන නොමැති නම් රෝහල් පද්ධතිය තුළ නව ඒකක ආරම්භ කිරීමට අවස්ථාව ලබා නොදීම. 04. සමහර අවස්ථාවන්වල දේශපාලනික වුවමනාවට හා දේශපාලනික අවශ්‍යතාවයන් මත පවත්වන යම් යම් සායන සහ සෞඛ්‍ය කඳවුරුවලට සහයෝගය නොදැක්වීම. 05. යම් රෝහලක, සායනයක සහ බාහිර ප්‍රතිකාර ඒකකවල රෝගියා පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරයාට සහයට, සහයක නිලධාරියෙක් ලබා නොදෙන්නේ නම් වෛද්‍යවරු ඒ ස්ථානවල රාජකාරීවලින් ඉවත් වීම.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ