Sri Lanka
සාම්ප්‍රදායික මාදැල් කර්මාන්තය සුරකින්න - ධීවර අධ්‍යක්ෂ ජනරාල්
18 | 2026-02-07 08:05 AM
මාදැල් භාවිතය සම්බන්ධයෙන් නව නීති පනවා නොමැති බවත් පවතින නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් සිදු කරන බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මේ බව ප්‍රකාශ කළේ, ට්‍රැක්ටර් සහ වින්ච් යන්ත්‍ර භාවිතය තහනම් කිරීමට එරෙහිව ඇතැම් ප්‍රදේශවල පැවැත්වෙන විරෝධතා පිළිබඳව අදහස් දක්වමිනි. 1984 මාදැල් නියෝග මාලාවට අනුව මාදැල් කර්මාන්තය යනු යාන්ත්‍රික ක්‍රියාකාරකම්වලින් තොරව මිනිස් ශ්‍රමය පමණක් භාවිත කරමින් සිදු කළ යුතු සාම්ප්‍රදායික රැකියාවක් බව ඔහු සඳහන් කරයි. දිවයිනේ ක්‍රියාත්මක මාදැල් 827න් අතිබහුතරයක් විශේෂයෙන් දකුණු පළාතේ ධීවරයින්, අදටත් ගැටලුවකින් තොරව මිනිස් ශ්‍රමයෙන් සාම්ප්‍රදායිකව කර්මාන්තයේ නිරත වන බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. වින්ච් යන්ත්‍ර සහ ට්‍රැක්ටර් භාවිතය හේතුවෙන් පාරිසරික හා සමාජීය ගැටලු පැන නැගී ඇති බව ද සුසන්ත කහවත්ත මහතා අවධාරණය කළේය. නියමිත ප්‍රමාණයට වඩා දිගු දැල් සහ අධික බරැති පාරු යෙදීම හේතුවෙන් මුහුදු පතුල සූරාගෙන යාමෙන් කොරල්පර සහ මත්ස්‍ය අභිජනන ස්ථාන විනාශ වන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. වෙරළ තීරයේ බර යන්ත්‍ර භාවිතයෙන් වෙරළ ඛාදනය සහ වෙරළ පරිසර පද්ධති විනාශ වන බව සඳහන් වේ. නියමිත සීමාව ඉක්මවා විශාල මුහුදු ප්‍රදේශයක් වට කිරීම හේතුවෙන් කුඩා ධීවර යාත්‍රා හිමියන්ට සහ වෙනත් ධීවරයින්ට රැකියාවේ නිරත වීමට බාධා ඇති වේ. නවීන තාක්ෂණය භාවිත කරන බවට පවසමින් සිදු කරන්නේ නීතිවිරෝධී සහ පරිසර විනාශකාරී ක්‍රියාවක් වන අතර මේ නිසා සම්ප්‍රදායික ධීවර කර්මාන්තයත්, සමුද්‍රීය සම්පතත් රැකගැනීම සියලු දෙනාගේ වගකීමක් බව ද ඔහු කියාසිටියේය. ඒ හේතුවෙන් අනෙකුත් ධීවරයින්ට හෝ පරිසරයට හානි නොවන පරිදි, නීත්‍යානුකූල රාමුව තුළ හිඳිමින් මාදැල් කර්මාන්තයේ නිරත වන ලෙස දෙපාර්තමේන්තුව සියලු මාදැල් හිමියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ